වවුචර වෙනුවට පාසල් දරුවන්ට දේශීය පාවහන්

MathuZone.LK
0

 දැනට පාසල් ළමුන් 250ට අඩු පාසල් සඳහා ක්‍රියාත්මක වන පාවහන් වවුචර ක්‍රමය වෙනුවට ප්‍රමිතියෙන් යුත්, දේශීයව නිෂ්පාදිත පාසල් පාවහන් ඍජුවම ලබාදීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අදාළ සාකච්ඡාවක් 2025 නොවැම්බර් 6 වෙනිදා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශයේ දී පවත්වා තිබෙනවා.


මෙම නියමු ව්‍යාපෘතිය බස්නාහිර සහ දකුණු පළාත්වල පාසල් 1266ක පාසල් ළමුන් 145,723ක් සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.


මෙම නව වැඩපිළිවෙළ යටතේ, දේශීය පාවහන් නිෂ්පාදන සමාගම් විසින් වසරක වගකීමක් සහිත ප්‍රමිතියෙන් යුතු එක් පාවහන් යුගලක් රුපියල් 2,100.00ක මුදලකට ලබා දීමට එකඟ වී ඇති බව සඳහන්.


මෙලෙස ක්‍රියාත්මක වීමෙන් රජය රුපියල් මිලියන 140කට ආසන්න මුදලක් ඉතිරි කර ගැනීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරනවා.


මෙම ඉතිරි කර ගන්නා මුදල යොදවා මෙම පළාත් දෙකේ තවත් පාසල් දරුවන් 62,481කට පාවහන් ලබාදීමට හැකියාවක් ඇති බව ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.


මෙම ව්‍යාපෘතිය සඳහා සැපයුම්කරුවන් තෝරාගැනීමේදී කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි දේශීය පාවහන් නිෂ්පාදකයන් පමණක් තෝරා ගැනීමට පියවර ගැනෙනු ඇති.


තෝරාගත් නිෂ්පාදකයින්, අදාළ පාසල්වලට පැමිණ ළමුන්ගේ ප්‍රමාණයන් අනුව නිවැරදිව පාවහන් ලබාදීමට එකඟ වී තිබීම මෙහි ඇති තවත් විශේෂත්වයක් බවයි අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.


මෙම සාකච්ඡාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම දේශීය සම් භාණ්ඩ නිෂ්පාදන උපදේශන කමිටුවේ නියෝජිතයන් ද සහභාගී වී තිබෙනවා.

මූලාශ්‍රය 

Tags

Post a Comment

0 Comments

Post a Comment (0)
chat with web site Admin